ගුවන් යානාවල තටුවේ කෙරවල නමලා තියෙන්නේ ඇයි?

ගුවන් යානා එහෙම නැතිනම් සරලව ප්ලේන් එකක්.. අපි හැමෝම දැකලා තියනවා..බොහෝ අය ඒවායේ ගිහිල්ලත් ඇති. මේ ප්ලේන් එකක් දිහා ආසාවෙන් බලං ඉන්න ඔබ දැකලා තියනවද ප්ලේන් එකේ තටු දෙකේම කොනට වෙන්න තටුව නමලා තියනවා.. (රූපය බලන්න) ලස්සන වෙන්න එහෙම කරලා ඇති කියලා ඔබට හිතිලා ඇති. ඒ නැමුම් වලින් ඉතාමත් වැදගත් කාර්යයක් ඉටුවෙන බව ඔබ දන්නවද?

මෙහෙම නමලා තියන කොටස හදුන්වන්නේ “වින්ග්ලට්” (Winglet) එකක් කියලා. (ආයේ නැමුම් කියන්නේ නැහැ). වින්ග්ල්ට් එකට ඉතාමත් වැදගත් රාජකාරියක් තියනවා. රාජකාරිය පැහැදිලි කරන්න කලින්, ඉපිලුම් බලය (Lift) ගැන කෙටි හැදින්වීමක් කරන්නම්. ගුවන් යානය ඉහලට එසැවෙන බලය එහෙම නැත්තම් ඉපිලුම් බලය ලැබෙන්නේ යානයේ තටුවට පහලින් වැඩි පීඩන තත්වයකුත් තටුවට ඉහලින් අඩු පීඩන තත්වයකුත් පවත්වා ගැනීමෙන්. ( ඉපිලුම් බලය ගැන වෙනම ලිපියක් ඉදිරියේදී පලකරන්නම්)

විද්‍යාවේදී ඔබ ඉගෙනගෙන ඇති වැඩි පීඩන කලාපයේ සිට අඩු පීඩන කාලපය වෙත අංශුන් ගමන් කරනවා කියලා. එලෙසම, ගුවන් යානයේ තටුවේ අගිස්සෙන් වැඩි පීඩනයේ සිට අඩු පීඩනය දක්වා වාතය ගලාගෙන එනවා. (රූපය බලන්න පැහැදිලි වේවි). පිටත සිට නරඹන්නෙකුට පෙනෙන්නේ තටුව අගිස්සෙන් සිහින් දුමක් වැනි යමක් සර්පිල මෙන් ගමන් කරන ආකාරයක්. මෙන්න මේ සර්පිල හදුන්වන්නේ වින්ග්ටිප් වෝටිසස් (Wingtip Vortices) යනුවෙන්.

වෝටිසස් පැහැදිලිව දැකගන්න පුළුවන්. වලාකුළු කවාකාරව දිස්වීමට හේතුවත් මේ වෝටිසස්.

වෝටිසස් පැහැදිලිව දැකගන්න පුළුවන්. වලාකුළු කවාකාරව දිස්වීමට හේතුවත් මේ වෝටිසස්.

දැන් වින්ග්ටිප් වෝටිසස් සහ වින්ග්ලට් අතර තියන සම්බන්ධය මොකද්ද? එහෙම හිතෙනවා ඇති ඔබට.

මෙන්න මේ වින්ග්ටිප් වෝටිසස් ගුවන් යානයේ ඉපිලුම් බලයට එකහෙලාම විරුධව ක්‍රියාකරන බලයක්. සරලව කිව්වොත් පස්සට අදිනවා වගේ වැඩක්. ඒ නිසා පසුපසට අදින බලය මැඩලගෙන ඉදිරියට ඇදෙන්න ගුවන් යානයේ එංජින් වලට අමතර බලයක් දරන්න වෙනවා. එහෙනම්, එම පසුපසට අදින බලය මැඩලන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. අන්න ඒ ක්‍රියාමාර්ගය තමයි වින්ග්ලට් එකකින් කරන්නේ.

 

මෙම පසුපසට අදින බලය ගුවන් යානයේ කාර්යක්ෂමතාවයට කෙලින්ම බලපාන කරුණක්. ගුවන් යානා ක්ෂේත්‍රයේදී මෙම බලය Induced drag ලෙස හදුන්වනවා. වින්ග්ලට් ඈදීම මගින් වින්ග්ටිප් වෝටිසස් සම්පුර්ණයෙන් නැතිවෙන්නේ නැහැ. නමුත් ඉතා සාර්ථකව අඩු කරන්න පුළුවන්.

බෝයින් ගුවන් යානා නිෂ්පාදන සමාගමට අනුව බෝයින් 757 සහ 767 ගුවන් යානා වලට වින්ග්ලට් ඈදීම මගින් සාමාන්‍ය ඉන්ධන පිරිවැය 5% කින් අඩු කරගන්න පුළුවන් වෙලා තියනවා. ඒ හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් පිටවීමත් 5% අඩු කරගන්න පුළුවන් වෙලා තියනවා.

වසරකට 5% ඉන්ධන ඉතිරියක් යනු විශාල ගුවන් සේවයකට ඉතා විශාල ඉතිරියක්..තටුවේ අගිස්සේ මේ කොටසෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන් වෙයි කියල ඔබට හිතන්න පුලුවන්ද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*