වාහනයක් නිසිලෙස නඩත්තු කරන්නේ කෙසේද?

ලෝකයේ පවතින විවිධ කර්මාන්තයන් අතුරින් ඉතාමත්ම කෙටි කාල පරාසයක් තුළදී බොහෝ වෙනස්කම් මෙන්ම යාවත්කාලීනවීම් ද සිදුවන අංශයක් ලෙස රථවාහන කර්මාන්තය හැඳින්විය හැකිය. එමනිසාවෙන්ම දිනෙන් දින සිදුවන වෙනස්කම් මනාව අවබෝධ කොටගනිමින් ඊට අනුරූප හැඩගැසීම සෑම වාහනහිමියෙකුටම, වාහන නඩත්තු සේවා සපයන ආයතනයකටම මෙන්ම රථවාහන ක්ෂේත්‍රයේ නියුතු සෑම වෘතිකයෙකුටම ඉතාමත්ම වැදගත් වන කරුණකි. දිනෙන් දින සිදුවන තාක්ෂණික වෙනස්කම් සමග හදුන්වාදෙනු ලබන නවීන රථවාහන මෙවලම්, නවීන වාහන මාදිළි මෙන්ම නඩත්තු නිෂ්පාදන ද  රථවාහන කර්මාන්තයේ දිශානතිය වෙනස් කිරීමට සමත්ව තිබේ.

 

ඉකුත් දශකයකට ආසන්න කාලපරාසය තුළදී රථවාහන නඩත්තුව සඳහා භාවිතා කල ක්‍රමවේදයන් සහ නිෂ්පාදන බොහෝමයක් වර්තමානය සමඟ සසඳා බලන කල බොහෝ යල් පැන ගිය ක්‍රියාපටිපටියක් බව අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදුවන කරුණකි. එමනිසාවෙන්ම කුමන මාදිලියක රථයක හිමිකරුවෙකු වුවත් තම වාහනය නිෂ්පාදිත නිමාවෙන්ම ඉතා දිගු කාලයක් භාවිතාකිරීම උදෙසා ඉතා විශ්වසනීය , විශේෂඥ දැනුමෙන් පිරිපුන් , ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිත  භාවිතා කරන සුදුසුම නඩත්තු සැපයුම් ආයතනයක් තෝරාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වේ.

 

මීට දශකයකට පමණ ඉහතදී වෙළඳපොළට හඳුවාදෙනු ලැබූ සෑම වාහනයකම පාහේ එන්ජිම සාපේක්ෂව විශාල වුවත් වර්තමානයේදී පැමිණෙන වාහන මාදිලි වල එන්ජිම ප්‍රමාණාත්මකව කුඩාවීමක් දක්නට ලැබෙනවා. නමුත් එම කුඩා එන්ජින් වලින් වාහනයට ලබා දෙන බලය හා ජවය ඉතා විශාලය. එමනිසා එන්ජිමේ සුමට ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වේ.

 

බොහෝ සූක්ෂම කොටස් වලින් නිර්මිත නවීන වාහන මාදිලි ඉතා සුළු දෝශ වලටත්  සංවේදී වන නිසාවෙන්ම ඒ පිලිබඳ නොසලකා කටයුතු කිරීම බොහෝ කාර්මික දෝශයන්ට අතවැනීමක් වැනිය. මෙවැනි එන්ජින් නඩත්තුකරණයේදී අති නවීන ක්‍රම උපායන් භාවිතාවට ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එන්ජින් තුළ කුමන හෝ ස්ථානයක තැම්පත් වනු ලබන අපද්‍රව්‍ය එන්ජිමේ කාර්යක්ෂමතාවයට මෙන්ම සුමට ක්‍රියාකාරිත්වයට  ද ඍජුවම බලපෑම් එල්ල කරනු ලබයි. එමනිසා වාහනයක් නඩත්තු කිරීමේදී වගකීමෙන් යුතු නඩත්තු සේවා ආයතනයක විශේෂඥ දැනුමෙන් පිරිපුන් තාක්ෂණික උපදේශකවරයෙකුගේ  සේවාව ලබාගැනීම අනිවාර්යනම කල යුත්තකි.

 

ඕනෑම වාහනයක සිදු කරනු ලබන නඩත්තු කටයුතු සරලව මූලික කොටස් තුනකට බෙදා වෙන්කර දැක්විය හැකිය.

 

කාලානුරූප නඩත්තු කිරීම(Periodic Maintenance)

වාහනය භාවිතා කල කාලය සහ ධාවනය කර ඇති දුර ප්‍රමාණය මත මෙම නඩත්තු කටයුතු සිදු කරනු ලබනවා. සම්ප්‍රේශණ  ලිහිසිකාරක (Transmission Oil), බල සැපයුම් ලිහිසිකාරක (Power stearing Oil), එන්ජින් ලිහිසිකාරක (Engine Oil), සිසිලන කාරක (Coolants) මෙන්ම තිරිංග සඳහා යොදන ලිහිසිකාරක (Brake Oil) වැනි දෑ මාරුකිරීම කාලානුරූප නඩත්තුවකදී සිදු කරනු ලබනවා.

 

සාමාන්‍ය නඩත්තුව (Regular Maintenance) .

වාහනයේ ගෙවී යන හෝ කාර්යක්ෂමතාවය අඩු වන කොටස් මාරුකිරීම මෙම නඩත්තුවේදී සිදුවනවා. සස්පෙන්ශන්, බුෂ්, බ්‍රේක් පෑඩ් , වයිපර් බ්ලේඩ්ස් වැනි දෑ මාරුකිරීම මෙම නඩත්තු කටයුත්තට අදාළ කාර්යන් කීපයක් ලෙස දැක්විය හැකිය.

 

නිවාරණ නඩත්තු කිරීම (Preventive Maintenance) 

වාහනයේ භාවිතයත් සමඟම එහි කාර්යක්ශමතාවය අඩුවී යාම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් එසේ සිදුවීම පාලනය කරමින් වාහනයේ නිෂ්පාදිත නිමාවෙන්ම දිගු කලක් පවත්වාගෙන යාම සඳහා සිදුකරනු  ලබන පූර්වාරක්ශණ ක්‍රියාපිළිවෙත් නිවාරණ නඩත්තුව ලෙස හැඳින්විය හැකිය. කාලාන්තරයක් තිස්සේ සාමාන්‍යයෙන් අප පුරුදුවී ඇත්තේ උක්ත කාලානුරූප සහ සාමන්‍ය නඩත්තුව පමණක් සිදුකරගෙන යාමටය. නමුත් බොහෝ සංවේදී උපාංග සහිත නවීන මෝටර් වාහන නිශ්පාදිත නිමාවෙන්ම කල්පවත්වාගැනීම සඳහා නිවාරණ නඩත්තුව අනිවාර්ය නඩත්තු අංගයක් බවට පත්වේ. සෑම කාලානුරූර හෝ සාමන්‍ය නඩත්තුවක් සමඟම සබැඳිව නිවාරණ නඩත්තු සත්කාරයක්ද ඔබේ වාහනයට ලබාදීමේ ඇති වැදගත්කම මනාව අවබෝධකොට ගැනීම වඩා හොඳ තත්වයෙන් වාහනය පවත්වාගෙන යාමට බලපොරොත්තුවන සෑම වාහන හිමිකරුවෙකුටම ඉතා වැදගත්දෙයකි. නිවාරණ නඩත්තුව වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවාලීමට, තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට මෙන්ම එන්ජිමේ සුමට ක්‍රියාකාරිත්වය නියත ලෙස පවත්වා ගැනීමට විශාල දායකත්වයක් ලබා දේ.

 

වාහනයක් නඩත්තු කිරීමේදී අපට මඟ පෙන්වීම සිදු කරන මූලිකම මාර්ගෝපදේශකයා ලෙස වාහනයේ තාක්ශණික අත්පොත හැඳින්විය හැකිය. වාහනයේ උපාංග නඩත්තුව පිලිබඳ මෙන්ම වාහනයට යෙදිය යුතු නිර්දේශිත ලිහිසිකාරක පිළිබඳවත් දල අදහසක් අපට මෙම අත්පොතෙන් ලබා ගත හැකිය. එසේ වුවත් ශ්‍රී ලංකාවේ පවතින විවිධ පාරිසරික තත්වයන්ට අනුරූපව  මෙම නිර්දේශ සුළු වශයෙන් වෙනස්කම් වලට භාජනය විය හැකිය. වාතයේ පවතින අධික තෙතමනය, මාර්ග වල තත්වය, වාහන තදබදය හා දූවිලි සහිත පරිසරය එවැනි සාධක වලින් සමහරකි .එමනිසාවෙන්ම ශ්‍රී ලාංකීය මෝටර් රථ ඉංජිනේරුවන්  සහ තාක්ශණික ශිල්පීන් විසින් පාර්භෝගික පැමිණිලි සහ වාහන මාදිලි වල ඉතිහාසයන් සැලකිල්ලට ගනිනිමින් ඇතැම් අවස්ථාවලදී නඩත්තුව සඳහා විශේෂ ක්‍රමෝපායන් සහ කාල පරාසයන් නිර්ණය කොට තිබෙනවා. එනිසාවෙන්ම තාක්ශණික අත්පොතෙහි ඇති නිර්දේශයන් ක්‍රියාවට නැංවීමේදී ඔබගේ නඩත්තු ආයතනයේ සිටින පලපුරුදු තාක්ෂණික උපදේශකවරයාගෙන්ද විමසා සිටීම ඉතාම වැදගත් වෙනවා.

අද වෙළඳපොලේ කිසිඳු ප්‍රමිතියකට හෝ නිර්දේශණයකට අයත් නොවන බාල වර්ගයේ ලිහිසි කාරක, පිරිසිදුකාරක සහ රථවහාන සේවා නිෂ්පාදන මෙන්ම අමතර කොටස්ද  සුලබව දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවල කෙටි කාලීනව සුළු ආර්ථික ලාභයක් තකා මෙවනි නිෂ්පාදන ඔබගේ මෝටර් වාහනයට භාවිතා කලද මේවායින් දිගුකාලීනව වාහනයට කරන්නාවූ හානිය ඉතා දරුණුය. එමනිසා වාහන සේවා නඩත්තුවක් සිදු කරන සෑම අවස්ථාවකදීම ඔබගේ වාහනයට යොදනු ලබන්නේ නියම ප්‍රමිතියෙන් යුතු ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදන පිළිබඳ පූර්ණ අවදානයක් යොමු කිරීම දිගු කාලීනව ඇතිවන අධික වියදම් සහිත අනවශ්‍ය කාර්මික දෝශයන් මඟහරවා ගැනීමට ඉතාම වැඩගත්ය. ඉහළ ප්‍රමිතියකින් යුතු වාහන නඩත්තු සේවා නිෂ්පාදන මෙන්ම ක්‍රමෝපායන් ගැන වඩා සවිස්තරාත්මක ලිපි පෙළක් ඉදිරියේදී  ඔබ වෙත ගෙනඒමට අප සුදානම්ය.

 

රුවන් ජයතිලක 

(කළමණාකාර අධ්‍යක්ෂ )

Lexus Trading Company (Pvt) Ltd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*