වාහන ක්ෂේත්‍රය වෙනස් වීමට හේතුවන පරාමිතික

වාහන ක්ෂේත්‍රය වෙනස් වීමට හේතුවන පරාමිතික

1985 වසරේ ලොව තිබුණු විශාලම ටෙලිකොම් කොම්පැනිය වූ AT&T ආයතනය මැකන්සි ආයතනයට වෙළෙඳ අනාවැකියක් කීමට පැවරුවේය. ඒ අනාවැකිය වූයේ තවත් අවුරුදු පහළොවකින් එකල ජනප්‍රිය වීම ආරම්භ වූ සෙල් දුරකථනය කීයක් පමණ ඇමරිකාවේ සංසරණය වන්නේද යන්නය. ගඩොල් භාගයක් පමණ වූ මේ සෙල් දුරකථනය ඔබ සමහරවිට අවුරුදු තිහකට පමණ පෙර දැක ඇත.

ඔවුන්ගේ ගණනයන් අනුව උත්තරය වූයේ 90,000 ක් යන්නය. එහෙත් ඇත්තේ වශයෙන්ම එය පසුව මිලියන 109ක් විය! මැකන්සි ආයතනයට වූ වරද 109% ගුණයක් විය. ගෘහස්ථ දුරකථන [Land lines] අටවන AT/T වැනි ආයතනවලට වැඩි ලාභයක් ගැනීමේ අවස්ථාව නැති විය. අද වුවද ලංකාවේ වුවද, බොහෝ ආයතනවලට ගෘහස්ථ දුරකථන නැත. ඇත්තටම ඒවා අනවශ්‍ය තරම් වේ.

ස්මාර්ට් දුරකථනයක් නැති කෙනෙක් ‘කළුනික’ සොයනවා මෙනි.

මෙය තාක්ෂණයේ කඩා වැටීම හෝ කිසියම් තාක්ෂණයක ඉදිරි ගමනට ඇති බාධාව [Technology Disruption] යන්නට හොඳ උදාහරණයකි.

මෙයට තවත් උදාහරණයක් කිව හැක. රූපවාහිනී කාර්මික ශිල්පයේ නැතිවම බැරි අංගයක් වන ‘ඔසිලස්කෝප්’ යන උපකරණය එදා කාර්මිකයන්ගේ සිහිනයක් විය. තවත් ඈතට ගිය කෙනෙක්ට ‘ස්පෙක්ට්‍රම් ඇනලයිසරය’ සහ ‘ලොජික් ප්‍රෝබ්’ තවත් සිහින විය. අද ඒ උපකරණ අනවශ්‍යය. එදා පරිපථ නඩත්තු කිරීම ඒ රූපවාහිනී පරිපථ නඩත්තු කිරීම වන්නේ නැතිවාක් මෙනි. යන කාලය නොවටින්නේය.

අලුත් පරිපථයක් මිලට ගෙන දැමීම ඊට වඩා පහසුය. ලාභය.

ඉහත කී ගඩොල් භාගයේ දුරකථනය වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එකල ඒ දුරකථනයක් ලංකාවේ නම්, ලක්ෂ එක හමාරක් පමණ විය. ඒ දුරකථනයේ තිබූ පහසුකම්, අද ලංකාවේ ඉන්නා දුප්පත්ම මනුස්සයා භාවිත කරන මොබයිලයට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයකි. මෙන්න මෙතනදී, අනාගතයේ ඇති බඩුවක් අතීතයට ගෙන ගොස් විකිණීමට කාල තරණය [Time travel] මට මෙන්ම ඔබටද සිතෙනු ඇත.

එයින් ලැබෙන මිල ඔබ දැනගන්න පෙර, මේ වෙලාවේ ඔබේ අතේ තේ කෝප්ප තිබේ නම්, ඒවා හයියෙන් අල්ලා ගන්න යයි කියමි.

ඒ අලුත් මොබයිලය අතීතයට ගොස් විකිණිය හැකි නම්, සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් මිලියන හතළිහකට පනහකට විකිණිය හැක. ඒ රුපියල් මිලියන නොවේ. ඩොලර් මිලියන වේ..! ඒ මුදල් අපට තිබුණා නම්, ගරාජයේ දාඩිය දමමින් එන්ජිම ගලවන වෙලාවේ, සිසිල් කරන ලද බියර් එකක් බොමින් කකුලක් මේසය උඩ තබාගෙන පුරාජේරු කතා කියන්නට තිබිණ.

එහෙත් ඔබ මෙන්ම මාද මෙහිදී අවාසනාවන්තයන් වන්නෙමු. කාලය එක් අතකට පමණක් ගලා යන හෙයිනි.

මෙන්න මේ කතාවට ‘මුවර් ගේ නියමය’ [Moor’s law] යයි කියනු ලැබේ. එනම් අද එක ඩොලරයක් එනුවෙන් ඔබට ලැබෙන තාක්ෂනය තවත් අවුරුදු දහයකින් එම මුදල් ඒකකයටම ලැබෙන තාක්ෂණය, එම මුල් තාක්ෂණයට වඩා සිය ගුණයකින් වැඩි වේ.

මේ මූලික වෙළෙඳ න්‍යායයන් ටොයෝටා සහ ජී. එම්. සී. වැනි වාහන දැවැන්තයන් නොදන්නවා නොවේ.
මේ නිසා ඔවුන් විදුලි වාහනවලට අවශ්‍ය මුල් පියවර වන හයිබි්‍රඞ් වාහනවලට මුල් තැනක් දෙන්නේය.
හොඳම උදාහරණයක් වන්නේ ටොයෝටා සමාගමයි. ඔවුන් විසින්, විදුලි මෝටර් සම්බන්ධ හයිබි්‍රඞ් සහ විදුලි වාහන නිෂ්පාදනය කළ යුතු යයි, 2020 වසරට තීරණය කරන ලද මූලික ඉලක්කයට ඉන් අවුරුදු තුනකට පෙර, වාහන මිලියන 1.5ක් නිෂ්පාදනය කරමින්, එනම් 2017 වසරේ එම ඉලක්කයට ඔවුන් ළඟා විය. මෙහිදී අනාගතය ගැන සිතා ඔවුන් කරන ලද ආයෝජනය පෙනේ.

එය එක් අතකට පැහැදිළිවම ‘මුවර් නියමය’ අනුව අනාගතය දැකීමකි.

එය නොකරන සියලුම නිෂ්පාදන ආයතනවලට, කොඩැක්, නොකියා වැනි ආයතනවලට වූ දේ සිදු වනු ඇත. මේ නිෂ්පාදන ආයතනවල තත්ත්වයයි. පාරිභෝගිකයාගේ තත්ත්වය කුමක් වේද?

වාහනයක් තියා ගැනීම ගෞරවයක් සහ එයින් සමාජයේ අභිමානයක් ඇතිවේ යයි සිතීම හෝ, අඩුම ගානේ එයින් ප්‍රයෝජනයක් ඇත යන අදහස කෙමෙන් නැතිවී යාම සිදු වේ. මෙය දියුණු රටවල්වල දැනටමත් වී ඇත. උදාහරණයක් සේ පසුගිය වසරේ ඇමරිකාවේ තමාගේ පරණ වාහනය විකිණූ 10%ක් පිරිසක් නැවත අලුත් වාහන ගෙන නැත. මෙය ජපානයේද සිදුවෙමින් පවතින දෙයකි.

ඇමරිකාවේ 10% ක් වාහන යනු කුඩා ප්‍රමාණයක් නොවේ.

ලංකාවේ වුවද මෙය යථාර්ථයක් වන අයුරු සංකේතාත්මකව හෝ පෙනේ. වාහන තදබදය ඇති පිටකොටුවේ වාහනයක් එළවන්නට ඔබ කැමතිද? මා නම් අකැමැත්තෙමි. වාහනය ගාවා ගත්තොත් තවත් කරදරයකි. ත්‍රීවීලරයක නැගී ගියහොත් කරන්න ආ වැඬේ ඉක්මනට කරගෙන හැකි බව අපි දනිමු. මෙතනදී අප සිතිය යුත්තේ, අන්න ඒ ප්‍රවාහන ක්‍රමයට ශ්‍රමයෙන් දායක වන අයට අත හිත දීමය.
උදාහරණයක් සේ, පිලිපීනයේ හෝ කියුබාවේ සේ ත්‍රීවීලර විදුලිකරණය කිරීම… එහෙත් එය වෙනම කතාවකි.

නැවතත් වාහන ගැන සිතුවොත්, ඉහළ තත්ත්වයේ විදුලි වාහනයක් තැනීමට හැකි වන්නේ සියවසක් පමණ ඒ ක්ෂේත්‍රයේ කෙළ පැමිණි නිෂ්පාදකයෙක්ට පමණක්ද යන ප්‍රශ්නය නැගිය හැක. ෆොසිල ඉන්ධන වාහනයක එන්ජිම සංකීර්ණ බව දනිමු. එහෙත් විදුලි වාහනයක්? එහි ඇත්තේ මෝටරයක්, බැටරියක් සහ පාලිත ඉලෙක්ට්‍රොනික පරිපථයක් පමණි.

ඉලෙක්ට්‍රොනික උපාංග මෙන්ම ඒ තාක්ෂණය අද දින අමුත්තක් නොවේ.

එසේ හෙයින් කවදාවත් වාහනවලට අවතීර්ණ නොවූ, ‘වැකියුම් ක්ලීනර’ නිෂ්පාදනය කළ, ‘ඩයිසන්’ වැනි ආයතන, බැටරි සහ විදුලි වාහන පවා තැනීමට යොමු වී ඇත.

කලකට පෙර, ‘ටෙස්ලා’ යන නම කෙනෙක් අසාවත් ඇත්ද?

කවදාවත් ජර්මන් හෝ ජපන් මෝටර් රථවල උසස් තත්ත්වයට සාපේක්ෂව වාහනයක් නිෂ්පාදනය කරන්නට නොහැකි වූ චීනය හා ඉන්දියාව දැනටමත් වාහන ලෝකය ආක්‍රමණය ආරම්භ කර ඇත.
ලංකාව වූ කලී ලෝක වෙළෙඳ ක්ෂේත්‍රයේ තිතක් පමණි. එනම් ලංකාවේ ඇති වාහන සංඛ්‍යාව ගැන කිසිම නිෂ්පාදන ආයතනයක් සැලකීමක් කරන්නට හේතුවක් නැත. එනම් නිෂ්පාදනයෙන් ඉවත් වන වාහන උපාංග තැනීම සහ ඒවා උපාංග ගබඩා කර ගැනීම තීරණය වන්නේ, ලොවේ ඒ ආකාරයේ වාහන බොහොමයක් පවතින්නේ නම් පමණි. කුමක් හෝ හේතුවකට ලංකාවේ පවතින වාහන මොඩල නම් බොහොමයකි.

එනම් අනාගතයේ මේ උපාංග මිලට ගැනීම පිළිබඳවද ප්‍රශ්න ඇතිවෙනු ඇත.

එහිදී විදුලි වාහන සම්බන්ධව මේ තත්ත්වය ඇතිවේද යන ගැටලුව පැන නගී. එය විය හැක. එහෙත් ෆොසිල ඉන්ධන වාහනයකට සාපේක්ෂව එය අවමයක් වනු ඇත. හේතුව ඉතා සරලය. විදුලි වාහනයක ගෙවෙන කොටස් ඉතා අඩු බව දනිමු. එසේම එහි ස්ඵෝටනයක් හෙවත් පිපිරීමක් වන්නේ නැත.
එනම් ඔබ ෆොසිල ඉන්ධන වාහනයක එක් කිලෝමීටරයක් ෆොසිල ඉන්ධන වාහනයක් ධාවනය කරන විට, ඒ ආකාරයේ ස්ඵෝටන ලක්ෂ ගණනක් සිදුවේ.

මේ නිසා විදුලි වාහනයක තාපය නිසා ඇතිවන දෝෂ [Thermal breakdown] කිසිත් නැත.
මෙතරම් කාර්යක්ෂම සහ කරදර නැති විදුලි වාහන කුමක් නිසා පාරට එන්නට ප්‍රමාද වන්නේද යන ප්‍රශ්නය වැදගත් වේ.

එකක් නම් මිනිසුන්ගේ නොදැනුවත්කමයි. අනෙක් දේ වන්නේ අලුත් දෙයකට අනුගත වීමට ඇති ප්‍රතිරෝධය වේ. ඒ ගැන අයින්ස්ටයින් මෙසේ කියා ඇත.
….“විශ්වයේ කෙළවර සමහරවිට සොයාගත්තද, මිනිසාගේ මෝඩ කමේ කෙළවර සොයා ගන්නට කවදාවත් නොහැකි වනු ඇත”…


ලලිත් කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*