ඉලෙක්ට්‍රික් වාහනයක් සර්විස් කරද්දී දැනගතයුතු කරුනු

විදුලි මෝටර් රථයක් භාවිතයට පෙලඹීමේ එක් හේතුවක් වනුයේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමයි. මෙම ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ ප්‍රධානම ක්‍රමය වනුයේ ඉන්ධන භාවිත කරන වාහනයකට සාපේක්ෂව විදුලි වාහනයක නඩත්තු වියදම අඩු වීමයි.

තවත් සමාජගත මතයක් වනුයේ විදුලි වාහනවල නඩත්තුවක් අනවශ්‍ය බවයි. මේ සටහනේ පරමාර්ථය විදුලි වාහනවල නඩත්තුවක් අවශ්‍යද? එසේ නම් අවශ්‍ය නඩත්තු කටයුතු මොනවාදැයි විමසා බැලීමයි.

පළමුකොටම සාමාන්‍ය එන්ජිමක් සහිත වාහනයකට අවශ්‍ය නඩත්තු කටයුතු පිළිබද අවබෝධයක් ලබාගමු. සාමාන්‍ය එන්ජිමක් සහිත වාහනයක චලනය වන උපාංග (moving parts) රැසක් මගින් ඛනිජ තෙල් දහනයෙන් ලැබෙන ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වේ. මෙසේ චලනය වන උපාංගවල උපරිම කාර්යක්ෂමතාව ලබා ගැනීමට නම් ඒවා නිතරම පරික්ෂා කිරීම සහ ලිහිසි තෙල් ගැල්වීම වැනි නඩත්තු කටයුතු සිදුකළ යුතුයි. එසේම වහනය තුළ භාවිතකරන ද්‍රාවණ (fluids) පරික්ෂා කර අවශ්‍ය නම් මාරු කිරීම කළ යුතුයි.

සාමාන්‍යයෙන් මෙවැනි වාහනයක් මාස 3-4කට වරක් හෝ කිලෝමීටර් 5,000ක් පමණ ධාවනය කළ පසු සේවා ස්ථානයකට රැගෙනයාම දකින්න පුළුවන. එසේ නඩත්තු කටයුතු සඳහා රැගෙන ගියවිට කෙරෙන ප්‍රධානම කාර්යය වන්නේ එන්ජිමේ ලිහිසි තෙල් මාරු කිරීමයි. ඒ සමගම ලිහිසි තෙල් සඳහා වන ෆිල්ටරය මාරුකිරීම සිදු වේ. මෙම කටයුත්ත සඳහා රුපියල් හත් අට දාහක අවම මුදලක්, සේවා ගාස්තුවලට අමතරව දැරිය යුතු වේ. ඊට අමතරව එන්ජිමට සම්බන්ධ වායු ෆිල්ටරය (air filter) මාරු කිරීමට නියමිත කාල සීමාව අනුව මාරු කිරීම සිදු කළ යුතු වේ. ප්‍රධාන වශයෙන් කෙරෙන මෙම කාර්යයන්ට අමතරව නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද කාලසටහනක් අනුව වෙනත් නඩත්තු කටයුතු සිදු කෙරේ.

ගියර් පද්ධතියේ ලිහිසි තෙල් මාරු කීරීම, කුලන්ට් (coolant) මාරු කිරීම, තිරිංග පද්ධතියේ තෙල් මාරු කිරීම වැනි අනිකුත් සේවාද අවශ්‍ය කාලසටහනට අනුව කරගත හැකිය. එමෙන්ම අනෙකුත් යාන්ත්‍රණ පද්ධතිවල පරික්ෂා කිරීම් සිදුකර අවශ්‍ය නඩත්තු කටයුතු යෝජනා කෙරේ.

විදුලි වාහනයක් සහ සාමාන්‍ය වාහනයක් අතර ප්‍රධානතම වෙනස වනුයේ එන්ජිමක් වෙනුවට විදුලි මෝටරයක් තිබීමයි. එවිට අපට පැහැදිලිවම තේරුම්ගත හැකි කාරණය වෙන්නේ එන්ජිමේ තෙල්,ෆිල්ටර් මාරුකිරීමේ වියදම ඉතිරි වන බවයි.

ඉන් ඔබ්බට ගියවිට විදුලි මෝටර් රථවල ගියර් පද්ධතියක් වෙනුවට තියෙන්නේ නියත අනුපාතයකට රෝද සඳහා බලය ලබාදෙන ගියර් රෝද සහිත පද්ධතියකුයි. සාමාන්‍ය ගියර් පද්ධතියක තෙල් මාරු කරනවාට වඩා වැඩි කාල පරාසයක් මේ තෙල් මාරු කිරීමට ලැබෙන නිසා එමගින්ද නඩත්තු වියදම වේ.

සාමාන්‍ය වාහනයක තියෙන රේඩියේටර් කුලන්ට් වෙනුවට විදුලි වාහනයක ඉන්වටර් (inverter) එක සඳහා කුලන්ට් තිබේ. මෙය පරීක්ෂා කර අවශ්‍ය නම් මාරු කළයුතු වුවත් සාමාන්‍යයෙන් නිෂ්පාදකයා යෝජනා කරන කාලපරාසය බොහෝ වැඩිය. එයට හේතුව එන්ජිමක සහ ඉන්වටර් එකක තාපය මුදා හැරීමේ අවශ්‍යතාව/වේගය වෙනස් වන නිසාය.

විදුලි වාහනවල තිරිංග පද්ධතිය වෙනස් ආකාරයකට ක්‍රියා කරයි. තිරිංග පෑගු විට එහි ඇති මෝටරය විදුලි ජනකයක් ලෙස ක්‍රියා කිරීමෙන් වාහනයේ චාලක ශක්තියෙන් විදුලිය ජනනය කර බැටරිය ආරෝපණය කරනු ලබයි (Regenerative braking). වාහනයේ ඉදිරි ගමනට අමතර ප්‍රතිරෝධයක් මෙමගින් ලැබෙන නිසා වාහනයේ වේගය අඩු වේ. එම නිසා වාහනයේ වේගය අඩුවන්නේ තිරිංග පද්ධතියෙන් නොවේ. තිරිංග පද්ධතිය ප්‍රයෝජනයට ගැනෙන්නේ හදිසියේ තිරිංග පාගෙන විට සහ වාහනයේ අවසාන නැවතීම සඳහායි. මෙම ක්‍රියාවලිය නිසා විදුලි වාහනයක බ්‍රේක් පැඞ් :ඉරු්න ච්ා* ගෙවෙන්නේ ඉතා අඩුවෙනුයි. මෙයද නඩත්තු වියදම අඩු කිරීමට දායක වේ.

වාහනයේ ඇති අනෙකුත් උපාංග සාමාන්‍ය වාහනයක මෙන් නඩත්තු කිරීම අවශ්‍යය. උදාහරණයක් ලෙස වායු සමීකරණ පද්ධතිය ගත හැක. එසේම අනෙකුත් යාන්ත්‍රණ කොටස් වන සුක්කානම හා සම්බන්ධ කොටස්, රෝද සම්බන්ධ කොටස්, රෝද යන දේ සාමාන්‍ය වාහනයක් මෙන් නඩත්තු කළ යුතුය.
මෙසේ බලනවිට මාස තුනෙන් තුනට කරන සේවා මාස හයකට පමණ වරක් සිදු කරන පරික්ෂා කිරීම්වලට පමණක් සීමා කළ හැකිය. එසේ පරික්ෂා කර අවශ්‍ය තැන්වලදී පමණක් අවශ්‍ය මාරු කිරීම් කළ හැකිය.

සමස්තයක් හැටිය ගත්කල විදුලි වාහනවල නිතර කරන නඩත්තු වියදම ඉතා අඩුබව ඔබට දැන් වැටහෙනු ඇත.


ජානක විමලධර්ම


ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය
www.evclub.lk

2 comments

  1. Important to us

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*